සිල් පද ගැන දැනගනිමු - 01

"පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි"
ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වෙමි.


බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ මුල් කාලයේ සිල් පද පැනවීමක් සිදු කලේ නැහැ. නමුත් පසුව යම් යම් හේතූන් නිසා මේ සිල් පද පැනවීම සිදුකළා. එයට හේතුව, මේ නිවන් මගේ ගමන් කරන ශ්‍රාවකයාට එය ආරම්භ කරන්ට ඇත්තේ සීලයෙන් වීමයි. එනම් මනා හික්මීමකින් යම් කෙනෙක් මේ සිල් පද අවබෝධයෙන්ම ආරක්ෂා කරනවානම් ඒකෙනාට ඒ හේතුවෙන් ඉක්මනින්ම සිත සමාධි ගත වෙනවා වගේම මේ ආර්ය සත්‍ය පවා අවබෝධ කරගැනීමේ දුර්ළභ අවස්ථාව උදාවෙනවා. මහා කීර්තියක් , මහත් වූ භෝග සම්පත් ආදිය ලැබෙනවා. ඒ වගේම ඒ පින්වතා සිහි මුලා නොවී කළුරිය කර සුගතියෙහි උපත ලබනවා. ඇත්තටම පින්වත් මිතුරනේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සිලයේ ආනිසංස කියා නිමකරන්න බැහැ කියායි. ඉතින් අපිත් අවබෝධයෙන්ම ඒ සීලය ආරක්ෂා කළොත් ඒ ආනිසංස ඒ ආකාරයෙන් ම ලබාගන්න පුලුවන්. ඒ ගැන ඔබට ගෙනෙන ලිපි පෙළෙහි පළමුවැන්නයි මේ.

ප්‍රාණය කියන්නේ ජීවිතයයි. මිනිසෙකුගේ හෝ තිරිසන් සතෙකුගේ හෝ ඇසට නොපෙනෙන භූතයෙකුගේ හෝ , උකුණු මකුණු මදුරුවකුගේද , මව් කුසක සිටින සත්වයෙකුගේද , බිත්තරයක සිටින සත්වයෙකුගේ හෝ ජීවිතය අවසන්වීමට මත්තෙන් , වෙඩි තැබීම, බෝම්බ ගැසීම, ඇසිඩ් ගැසීම, දියේ ගිල්ලවීම, විෂදුම් ගැසීම, හුස්ම හිරකිරීම, අතින් පයින් පොලු වලින් ගැසීම, උගුල් වලට අසුකිරීම, රථවාහන වලට යටකිරීම, ගින්නෙන් දැවීම, වස කැවීම, බිය ගැන්වීම, වැරදි බෙහෙත් දීම, ගබ්සා බෙහෙත් දීම වගේ මොනම හෝ උපක්‍රමයකින් තමන්ම හෝ වෙන කෙනෙක් ලවා හෝ සතෙකුගේ ප්‍රාණය තොර කිරීම හෝ කරවීම නිසා මේ සිල්පදය කැඩෙනවා.

මේ ප්‍රාණඝාතය සිද්වෙන්නේ කාරණා පහක් සම්පූර්ණ වීමෙන්.


" පාණෝ හවේ පාණසඤ්ඤි - වධකචිත්ත මූපක්කමෝ
තේන ජීවිතනාසෝ ච - අංගා පඤ්ච වධස්සිමේ "

එනම්, 
පණ ඇති සතෙකු වීම.
පණ ඇති සතෙකු යන හැගීම තිබීම.
මරනවා යන සිත ඇතිවීම.
මරන්නට යම්කිසි උපක්‍රම කිරීම.
ඒ උපක්‍රමයෙන් සත්වයා මිය යෑම.

සිල් පදය කැඩෙන්නේ මේ කාරණා පහ සම්පූර්ණ වීමෙන් විතරයි. වෙන ක්‍රමයකින් සිල් පදය කැඩෙන්නේ නැහැ. සමහර විට අපි යන එන විට අපි දන්නේ නැතිව පොඩි සතුන් පෑගී මිය යනවා. ඒත් එවැනි අවසථාවල අපිට මේ සත්තු මරනවා කියා සිතක් නැති නිසා සිල් පදය කැඩෙන්නේ නැහැ. හැබැයි මිතුරනේ, අපි සිල් සමාදන් වීමෙන් පසු තමන් නිසා කුඩා සතෙක්ගේ වත් ජීවිතයක් නැති නොවෙන විදිහට පරිස්සම් වෙන්න ඕන. ඔබට පින් රැස්කර ගන්න පුලුවන් හරියට සිහියෙන්  මේ සිල් රකිනවිට. හිතන්න, සමහරවිට අපි පානය කරණ ජලයේ කුඩා සතුන් ඉන්න පුලුවන්නේ අපේ ඇසට පේන්නේ නැති. ඉතින් අපිට පුලුවන් මේ ජලය උණු කරන්න හෝ බොන්නට හෝ කලින් මේ ජලය රෙදි කඩකිනි පෙරීමෙන් පසු පුයෝජනයට ගන්න.ගොවිතැන් කරද්දී පොළව කොටන විට හෝ වෙන එළි කිරීම් සතුන් මියගිය විට ඒ මොහොතෙන් මේ සතුන් මරනන් ඕන කියන සිත නැති නිසා ප්‍රාණඝාතය සිද්ද වෙන්නේ නැහැ. ඒත් මේ සත්තු මරන්න ඕන කියන අදහසින් හෝ ඒ සතුන් මියයන බෙහෙත්  වර්ග දැමීමෙන් හෝ ඒ සතුන් මියයන උපක්‍රම යෙදීමෙන් හෝ ඒ සතුන් මිය යනවා නම් සිල් පදය කැඩෙනවා. පව් ගොඩක් රැස් වෙනවා.

මේ කරණු බලන්න..

යම් සතෙක් මැරීම පිණිස වෙඩි තියනවා කියනකෝ . ඒ වෙඩිල්  මරන්න ඕන සතාට නොවැදී වෙන සතෙක්ට වැදිල ඒ සතා මැරෙනවා. මේ වෙලා වේදී ප්‍රාණඝාතය සිද්ධ වෙන්නේ නැහැ. හේතුව,  මරන්න තැත්කරේ වෙන සතෙක් නිසාත් මේ සතා මැරීමේ සිතක් නොතිබුන නිසාත්.

ඒ මරන්න ඕන සතාටම වෙඩිල් වැදුන මොහොතක, ඒ හේතුවෙන් ඒ සතා මියගියේ නැතිනම් එතනදීත් ප්‍රාණඝාතය සිද්ධ වෙන්නේ නැහැ. ඒත් වෙඩි වැදුන සතා ඒ මොහොතේම හෝ අවුරුදු ගණනකින් හෝ ඒ වෙඩිල්ල නිසා මිය යනවානම් ඒ සත්වයා මැරෙන්නට කලින්ම ප්‍රාණඝාත කර්මය සිද්ධ වෙනවා.
ඒ වගේම යම් සත්වයෙකුට මැරීමේ අදහසකින් නැතිව රිදවීමේ අදහසින් පහරක් ගසනවා කියමු. ඒ පහර නිසා ඒ සත්වයා ඒ වෙලාවෙම මියගියත් ප්‍රාණඝාතය සිද්ධ වෙන්නේ නැහැ. හේතුව, මැරීමේ අදහසක් නොතිබ්බ නිසා. යම් සත්වයෙක් (සත්වයන්ට මිනිස්සුත් අයිතියි) අනතුරකින් හෝ ලෙඩකින් ඉද්දී එය සුව කිරී‍මේ අදහසින් කරන ශල්‍යකර්ම වලින් ඒ සතා මිය යනවානම් ප්‍රාණඝාත කර්මය සිද්ධ වෙන්නේ නැහැ.

පර පණ නැසීමේ ප්‍රයොග 6 ක් තියෙනවා. ප්‍රයෝග කියන්නේ සිදු කිරීමට කරන උත්සාහයයි.
" සාහත්ථිකො ආණත්තිකෝ - නිස්සග්ගියෝ ච ථාවරෝ
විජ්ජාමයො ඉද්ධිමයො - පයොගා ඡබ්බිධා මතා "

01. ස්වාහස්තික ප්‍රයෝගය 
මැරීම සදහා ගැසීම, කැපීම, ඇනීම ආදී සියතින්ම කරන උත්සාහය.


02. ආඥා ප්‍රයෝගය
සියතින් නොමරා වෙන කෙනෙක් ලවා මැරවීම.


03. නිස්සර්ගික ප්‍රයෝගය
ගල් ගැසීම, පොලු දමා ගැසීම, ආයුධ දමා ගැසීම, වෙඩි තැබීම ආදී තමන්ගේ අතින් වීසිකර හෝ යවා කරන උත්සාහය.


04. ස්ථාවර ප්‍රයෝගය.
උගුල් ඇටවීම, හුල් සිටුවා තැබීම, තුවක්කු බැද තැබීම, වලවල් සාරා තැබීම ආදිය.


05. විද්‍යාමය ප්‍රයෝග
අංගම් පිඹීම, සූනියම් කිරීම, පිල්ලි යැවීම ආදියෙන් කරන උත්සාහය.


06. සෘද්ධිමය ප්‍රයෝග
ඇතැම් සත්වයන්ට තව සතෙක්ව නැසීමට පුලුවන් ඉර්ධි උපතින්ම පිහිටනවා. ඒවාගේ ඉර්ධි බෝහෝ විට තියෙන්නේ අමනුෂ්‍යයන්ට යි. ඔවුන්ට තමාගේ ශරීරය සත්වයන්ට පෙන්වීමෙන් ද, බිය ගෙනදෙන වෙස් මවා පන්වීමෙන් ද, බිය ගන්වා මිනිසුන් ආදී සතුන් මරන්නට පුලුවන්. ඒ ඔවුන්ගේ ඉර්ධිය යි. ඒ වගේ ඉර්ධියකින් කරන උත්සාහය "සෘද්ධිමය ප්‍රයොගය යි".
මේ ප්‍රයොග හයෙන් මොන ප්‍රයෝගයෙන් හෝ සතෙක් මැරැවොත් ප්‍රාණඝාත කර්මය සිද්ධ වෙනවා.


ආඥා ප්‍රයෝගය හෙවත් අණ කිරීම ගැන දැනගන්න.

 " වත්ථු කාලෝ ච ඔකාසෝ - ආයුධං ඉරියාපථං
කිරියා විසෙසොතිමෙ - ඡ ආණත්ති නියාමකෝ "


වස්තුව( සත්වයා), කාලය, අවකාශය, ආයුධය, ඉරියව්ව, ක්‍රියා විශේෂය යන කරණු හයක් තියෙනවා.


01. වස්තුව ( මරනු ලබන සත්වයා )
මරන්නට අණ කරන පුද්ගලයා විසින් සත්වයෙකු මරන්නට අණ කළ වි‍ට, අණ ලබන පුද්ගලයා  විසින් නොවරදවා ඒ සත්වයා ම මැරුවොත්  අණ කළ හා අණ ලැබූ පුද්ගලයන් දෙදෙනාටම ප්‍රාණඝාත අකුසල කර්මය සිද්ධ වෙනවා. අණ ලැබූ තැනැත්තා විසින් වෙනත් සතෙක්ව(වැරදීමකින්) මැරුවොත් මරපු තැනැත්තාට  ප්‍රාණඝාත කර්මය සිද්ධ වෙනවා. නමුත් අණ කළ කෙනාට කර්මය සිද්ධ වෙන්නේ නැහැ.


02. කාලය
කාලය කියන්නේ රාත්‍රී සහ දහවල් කාලයයි. අණ කරන තැනැත්තා රාත්‍රී කාලයේදී මරන්නට අණ දුන්නද අණ ලැබූ තැනැත්තා කාලය වරදවා දහවල් කාලයේ මැරුවොත් , ඒ ප්‍රාණඝාත කර්මය සිදුවෙන්නේ මැරූකෙනාට පමණයි. අණ කළ කෙනාට සිදුවන්නේ නැහැ. නමුත්, කාලය වරද්දන් නැතුව හරියටම කියපු සත්වයාම මැරුවොත් දෙදෙනාටම ප්‍රාණඝාත අකුසල කර්මය සිදුවෙනවා.


03. අවකාශය
අවකාශය යනු මැරීම කරන තැනය. මරන්නට අණ කරන  තැනැත්තා අසවල් තැන සිටින කෙනාව මරන්න යැයි අණ කළොත් අණ ලබන තැනැත්තා ඒ හරියටම ඒ සථානයේ සිටින ඒ සත්වයාම මැරුවොත් දෙදෙනාටම අකුසලය සිදුවෙනවා. නමුත් තැන වරද්දවා වෙනත් තැනක සිටි සතෙක්ව මැරුවොත් ඒ මරපු තැනැත්තාට පමණක් අකුසලය සිදුවෙනවා.


04. ආයුධය
ආයුධය යනු මැරීම සදහා පාවිච්චි කරන ආයුධයයි. අණ කරන තැනැත්තා පිහියකින් ඇණ මරන්නට නියම කළ විට ඒ විදිහටම අණ ලැබු තැනැත්තා ඒ සත්වයාව මැරුවොත් දෙදෙනාටම අකුසලය සිදුවෙනවා. නමුත් වෙනත් ක්‍රමයකට මැරුවොත් මැරූ තැනැත්තාට පමණක් කර්මය සිද්ධ වෙනවා.


05. ඉරියව්ව
ඉරියව්ව කියන්නේ මරනු ලබන සත්වයා සිටින ඉරියව්ව යි. නිදා සිටියදී මරන්නට අණ කළහොත් අණ ලැබු  තැනැත්තා මරනු ලබන සතා ගමන් කරන මොහොතක මැරුවොත්, කර්මය හිමිවන්නේ මැරූ කෙනාට පමණයි. නිදාසිටිද්දී ම මැරුවොත් දෙදෙනාටම කර්මය සිද්ධවෙනවා.


06. ක්‍රියා විශේෂය
 මේ කියන්නේ මැරීම සදහා කරන උපක්‍රමය යි. වෙඩිතබා මරන්නට කීවිට වෙන ක්‍රමයකින් මැරුවොත් මරපු තැනැත්තාට කර්මය සිද්ධ වෙනවා. වෙඩි තබාම මැරුවොත් දෙදෙනාටම කර්මය සිද්ධ වෙනවා.


ස්ථාවර ප්‍රයොගය ගැනත් මේ කරුණු දැනගන්න.
පින්වත් මිතුරනේ,  ඔන්න " අසවල් සතා මෙයට අසුවී මැරේවා" කියා සිතලා උගුලක් අටවනවා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ මුවන් දඩයම පිණිස කෙනෙක් උගුලක් අටවනවා. එතකොට ඒ උගුලට ඒ සතාම අසු වුනොත් ඒ හේතුවෙන් මියගියොත් ප්‍රාණඝාත අකුසල කර්මය සිදුවෙනවා. ඒ උගුලට වෙනත් සතෙක් අසුවී මැරුනොත් ප්‍රාණඝාත අකුසල කර්මය සිදුවෙන්නේ නැහැ. විශේස සතෙක් නොමැතිව ඕනෑම සතෙක් අහුවීම පිණිස උගුලක් අටෙව්වොත් ඒ උගුලට හසුවී සතෙක් මැරුනොත් ප්‍රාණඝාත අකුසල කර්මය සිදුවෙනවා. මේ විදිහට සතුන්  මැරීම පිණිස වළක් කපා තිබුනොත් ඒ වළ පවතින තාක් එහි වැටී මියයන සතුන් ගණනට වල හාරපු පුද්ගලයාට ප්‍රාණඝාත අකුසල කර්ම රැස්වෙනවා. 


මා පියන් මැරීම.

මිනිස් දරුවෙක් තමාගේ මව හෝ පියා හෝ මැරීම නිසා  ආනන්තර්ය කර්ම සිදුකර ගන්නවා. ආනන්තර්ය කියන්නේ අතරක් නැහැ කියන එකයි. එයාට අනිවාර්යයෙන්ම ඊළග ජීවිතේ කල්පයක් නිරයේ ගතකරන්ට වෙනවා. 

මේ බලන්න,
ඔන්න යම් තැනක එළුවෙක් නිදාගෙන ඉන්නවා කියන්නකෝ. මේ සතාව රෑට ගිහින් මරන්න ඔන කියා සිතා රෑට ගිහින් ආයුදයකින් නිදා සිටින සතාට පහර දෙනවා. ඒත් එතන ඒ එළුවා හෝ ඒ සතා නැතිව  මව හො පියා සිට ඒ පහර දීමෙන් ඒ අය මිය යයිද, ඒ පහර දුන් කෙනාට ආනන්තර්ය පාප කරමය සිදු වෙනවා. හේතුව, ඒ වෙලාවේ "මේ සත්වයා මරමි" යි චේතනාව තිබූ නිසා. ඒ වගේම ,"මව හෝ පියා මරමි"යි සිතලා කෙනෙක් රාත්‍රියේ දී පහර දෙයිද, එතැන මව හො පියා නොසිට වෙනත් සතෙක්ට වැදී මියයිද පහර දුන් කෙනාට ආනන්තර්ය කර්ම සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඒ ආකාරයෙන්ම මව පියා මරමියි සිතලා පහර දී මව හෝ පියා මිය ගියහොත් ආනන්තර්ය කර්මය සිදුවෙනවා.  

ඒ වගේම රාත්‍රී කාලයේදී සොරෙක් පැන්නා කියලා හිතලා මව හො පියා මරයි ද  ඒ කෙනාට ආනන්තර්ය පාප කර්මය සිද්ධ වෙනවා. මව පියා කියල හිතල සොරෙක්ව මැරුවට ආනන්තර්ය පාප කර්මය සිදු වෙන්නේ නැහැ. 


ඒ වගේම, යුද්ධයක දී සතුරු පක්ෂයෙ පියා ඉන්නවා දැක , අනිත් සතුරන්ට පහර දෙද්දී පියා පලා යයි කියා අනිත් අයට පහර දෙනවා කියලා සිතන්න. ඒ පහරක් වැරදීමකින් පියාට වැදී මිය යනවා නම් ඔහුට ආනන්තර්ය පාප කර්මය සිදු වන්නේ නැහැ. හේතුව , පහරදුන්නේ පියාව පැන්නීමේ  දහසින් විනා මැරීමේ අදහසකින් නොවූ නිසා. ඒ වගේම සතුරු පක්ෂයේ පියා ඉන්නවා දැක්කා නම්, පියාට ඉදිරියෙන් වෙනත් අයෙක් සිටිනවා දැක්කානම්‍‍, ඒ කෙනාට විදින හීය ඒ කෙනාගේ සිරුර විනිවිද ගොස්  පියාට වැදෙන බවත් දන්නවානම්, ඒවිට ඒ ඉදිරියේ සිටින සතුරාට විද්ද විට ඇග විනිවිද ගොස් පියාට වැදී මැරුනොත් ආනන්තර්ය පාප කර්මය සිදු වෙනවා. 

ඒ වගේම ආයුදයක් සුද්ද කරගන්න අදහසින් පිදුරු ගොඩකට ඇන්නද ඒ පිදුරු යට මව හෝ පියා සිට ඒ පහර වැදී මැරුනට ඒ කෙනාට ආනන්තර්ය පාප කර්මය සිදු වෙන්නේ නැහැ. ඒත් කවුරු හරි පිදුරු යට ඉන්නවා යැයි දැනගෙන ඒ කෙනාව මරමියි සිතා පිදුරුගොඩට ඇන්නා නම්, ඒ පිදුරු යට මව හෝ පියා සිට මැරුනේ නම් ආනන්තර්ය පාප කර්මය සිද්ධ වෙනවා.



දුකින් නිදහස් කිරීම පිණිස මැරීම...?

සමහර අය දුක් විදිමින් ඉන්න සතුන් දුකින් නිදහස් කිරීමට කියා මරා දමනවා. ඔවුන් සිතන්නේ එයින් පවක් සිද්ද වෙන්නනේ නැහැ කියායි. ඒත් පින්වත් මතුරනේ, අවිචි මහා නරකාදියේ පවා ඉන්න සතුන් මරණයට බයයි. හැම සතෙක්ටම තම ජීවිතයට වඩා ප්‍රිය දෙයක් නැහැ. එනිසා ඔවුන්ට එය නැතිවීම තරම් වෙන දුකක් නැහැ. ඒ නිසා දුකින් නිදහස් කරන්නට සතුන් මැරීම ඒ සතාට ඊට වඩා දෙන දුකක් නේද?  එනිසා ඒක අකුසලයක් මයි. පවක් මයි. ඒ වගේම යම් කෙනෙක්, ලෙඩවී දුක් විදින මව හෝ පියා දුක් විදිනවා බලන් ඉන්නට බැරිව වෛද්‍යවරුන්ට කියා දිවියෙන් තොරකරයිද, එ සැනෙකින් ඔහු‍ට ආනන්තර්ය පාප කර්මය සිදුවෙනවා.

පින්වත් මිතුරනේ, කරුණා සිතකින් කිසිවිටක සතුන් මරන්න බැහැ. ඒ සතුන් මරන්නට බලපාන්නේ ද්වේෂ සහිත සිතමයි. නමුත් මේ ද්වේශය එන්නේ අනුකම්පාව වේශයෙන්. මෝහයත් සමග මේ වැඩේ වෙන නිසා මේ සිත ගැන නොදන්න කෙනාට මෙය කිසි විටෙක තේරුම් ගන්න බැහැ. ඒ නිසා ඔවුන් බොහෝ පව් රැස් කරගන්නවා. ඒනිසා මොනම හේතුවක් නිසාවත් පර පණක් නසන්ට එපා . එය අකුසලයක් මයි.


මීට අමතරව සිය දිවි නසා ගනීම තුළින්ද සිදුවන්නේ අකුසලයකි.


ප්‍රාණඝාතයේ විපාක
  • මරනු ලබන තැනැත්තා ගුණවතෙක්නම් විපාකය විශාල වෙනවා. මව පියා සහ රහතුන්ගේ ගුණයන් ඉතාම වැඩියි. එනිසා මා පියන් රහතුන් මැරීම ආනන්තර්ය කර්ම වෙනවා. ඒ කර්ම සිදු කළ කෙනෙක්ට කල්පයක් නිරයේ දුක් විදීමට සිදුවෙනවා. බුදුරජාණන් වහන්සේලා ව කිසි කෙනෙකුට ඝාතනය කිරීමට නොහැකි නිසා වධක චිත්තයෙන් උන්වහන්සේලාගේ සිරුරෙහි ලේ සෙලවීම ආනන්තර්ය පාප කර්මයක්.
  • ප්‍රාණඝාත කළ සතුන් නිරයේ , තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ උපදිනවා.
  • අල්ප ආයුෂ ඇතිව මියයනවා.
  • මිනිස් ලොව පැමිණියත් අංගවිකල විදිහට අවයව හැදෙනවා.
  • විකෘති ශරීර ඇතිවෙනවා.
  • ලෝකයාට අප්‍රිය කෙනෙක් වෙනවා.
  • නිතර ශෝක කරන කෙනෙක් වෙනවා.
  • නිතර බියෙන් පෙළෙන කෙනෙක් වෙනවා.
  • හේතුවක් නැතිව බිය වෙන කෙනෙක් වෙනවා.
  • සතුරන් වැඩි අයෙක් වෙනවා.
  • සතුරන්ගෙන් පීඩාවට පත්වෙන කෙනෙක් වෙනවා.
  • හදිස් අනතුරු, වෙනත් උපායවල්, උපක්‍රම වලින, සතුරන් අතින් හෝ අකාලයේ මිය යනවා.

ඉතින් මේ ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබන පින්වත් මිතුරනේ, ඔබත් දිවි හිමියෙනි මේ සිල්පද ආරක්ෂා කරන්න. එයට අනුග්‍රහ පිණිසයි මේ ලිපිය පළ කරන්නේ. 

ඔබට තෙරුවන් සරණයි !

මීළග ලිපියෙන් ---------- " සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදම් වෙමි"  සිල්පදය ගැන විස්තර බලාපොරොත්තු වන්න.

Buddha Quotes

Make an island of yourself,
make yourself your refuge;
there is no other refuge.
Make truth your island,
make truth your refuge;
there is no other refuge.
Digha Nikaya, 16