අනාථපිණ්ඩික සූත්‍රය


අනාථපිණ්ඩික සූත්‍රය
අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා නිසා වදාළ දෙසුම.



මා හට සන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඩු සිටුතුමාගේ ආරාමයේ.

එදා අනාථපිණ්ඩික දිව්‍යපුත්‍රයා රැය පහන් වන වේලාවේ සෝභා සම්පන්න සිරුරකින් යුතුව මුලු මහත් ජේතවනයම ඒකාලෝක කරගෙන භාග්‍යවතුන් වහන්සේ ළගට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටිය අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාවන් පැවසුවා.

" මේ ජේතවන අසපුවේ ඉසිවරයන් වහන්සේලා, පිරීඉතිරී වැඩඉන්නවා දැක්කහම, ධර්මරාජයන් වහන්සේත් වැඩඉන්නවා දැක්කහම මා තුළ පුදුම ප්‍රීතියක් ඇතිවෙනවා. 

ක්‍රියාකලාපයත්, අවබෝධඥාණයත්, ධර්මයත්, උතුම් සිල්වත් ජීවිතයත් කියන මෙයින් තමයි සත්වයන් පිරිසිදු වෙන්නේ. උපන් කුලයෙන්වත්, ධනයෙන්වත්, සත්වයන් පිරිසිදු වෙන්නේ නැහැ.

ඒ නිසා නුවණැති පුද්ගලයා තමන්ගේ යහපත කැමති නම්, නුවණින් යුක්තව ශ්‍රී සද්ධර්මය විමසා බලන්න ඕන. එතකොට තමයි කෙනෙක් පිරිසිදු වෙන්නේ. 

ප්‍රඥාවෙනුත්, සීලයෙනුත්, සංසිදීමෙනුත්, උතුම් වන්නේ මේ සැරියුත් තෙරුන් වහන්සේමයි.  සසරෙන් එතෙරට වැඩි යම් භික්ෂුවක් වේ නම්, උන්වහන්සේලා අතුරින් සාරිපුත්තයන් වහන්සේම ශ්‍රේෂ්ඨයි."

අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා මෙසේ පැවසුවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. ප්‍රදක්ෂිණා කළා.එතනම නොපෙනී ගියා.

" පින්වත් මහණෙනි, මේ රාත්‍රියේ සුන්දර පෙනුම තියෙන එක්තරා දෙවියෙක් රැය පහන්වන වේලාවේ මුළු ජේතවනයම බබුලුවාගෙන, මං ළගට ආවා. ඇවිදින් මට වන්දනා කළා. පැත්තකින් හිටගත්තා. පින්වත් මහණෙනි, පැත්තකින් හිටගත්තු ඒ දිව්‍ය පුත්‍රයා මා අසලදී මේ ගාථාවන් පැවසුවා.

'මේ ජේතවන අසපුවේ ඉසිවරයන් වහන්සේලා, පිරීඉතිරී වැඩඉන්නවා දැක්කහම, ධර්මරාජයන් වහන්සේත් වැඩඉන්නවා දැක්කහම මා තුළ පුදුම ප්‍රීතියක් ඇතිවෙනවා. 

ක්‍රියාකලාපයත්, අවබෝධඥාණයත්, ධර්මයත්, උතුම් සිල්වත් ජීවිතයත් කියන මෙයින් තමයි සත්වයන් පිරිසිදු වෙන්නේ. උපන් කුලයෙන්වත්, ධනයෙන්වත්, සත්වයන් පිරිසිදු වෙන්නේ නැහැ.

ඒ නිසා නුවණැති පුද්ගලයා තමන්ගේ යහපත කැමති නම්, නුවණින් යුක්තව ශ්‍රී සද්ධර්මය විමසා බලන්න ඕන. එතකොට තමයි කෙනෙක් පිරිසිදු වෙන්නේ. 

ප්‍රඥාවෙනුත්, සීලයෙනුත්, සංසිදීමෙනුත්, උතුම් වන්නේ මේ සැරියුත් තෙරුන් වහන්සේමයි.  සසරෙන් එතෙරට වැඩි යම් භික්ෂුවක් වේ නම්, උන්වහන්සේලා අතුරින් සාරිපුත්තයන් වහන්සේම ශ්‍රේෂ්ඨයි' කියලා.

ඒ දිව්‍ය පුත්‍රයා ඔය කරුණු පැවසුවා. ඊට පස්සේ මට වන්දනා කළා. ප්‍රදක්ෂිණා කළා. එතනම නොපෙනී ගියා.

එතකොට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

" ස්වාමීනී, ඔය දෙවියා නම් අනාථපිණ්ඩික දිව්‍යපුත්‍රයාම වෙන්න ඕන. අනාථපිණ්ඩික දිව්‍යපුත්‍රයා ආයුෂමත් සාරිපුත්තයන් වහන්සේ ගැන ගොඩාක් පැහැදීමකින් තමයි හිටියේ."

" සාදු! සාදු! පින්වත් ආනන්ද, යම්තාක් තර්කයෙන් දැනගත යුතු නම්, ඔබ ඒ තාක් දැනගත්තා නේද?  පින්වත් ආනන්ද, ඔහු අනාථපිණ්ඩික දිව්‍යපුත්‍රයාම තමයි."




සාදු ! සාදු!! සාදු!!!

(සූත්‍ර පිටකයට අයත් ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය - සංයුක්ත නිකාය-පළමු කොටස-සගාථ වර්ගය.) 
පරිවර්ථනය- පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
මහමෙව්නාව භාවනා අසපුව, වඩුවාව, පොල්ගහවෙල. 

-----------------------------------



අනේපිඬු සිටු මාලිගය:
බුදුරදුන් වැඩ සිටි සමයේ කෝසල ජනපදයේ අගනුවර වූයේ ශ්‍රාවස්තිය හෙවත් සැවැත් නුවරයි. බුදුරජාණන් වහන්සේ වැඩිම කාලයක් (වසර 25 ක්) වැඩ සිටි නගරය සැවැත් නුවරයි. සැවැත් නුවර ඇතුළු නගරයේ පිහිටා ඇති මෙම ගොඩනැගිල්ල බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන දායකයා වන සුදත්ත හෙවත් අනේපිඬු (අනාථපිණ්ඩික) සිටුවරයාගේ මාලිගාවේ නටබුන් ය. විශාල ගොඩනැගිල්ලක් වූ මෙහි ගේ මැද විශාල වළවල් දෙකක් දක්නට ලැබෙයි. ඒවා ධාන්‍ය වළලා තිබූ ස්ථාන බව සඳහන් වෙයි. මෙම ගොඩනැගිල්ල පිළිස්සූ ගඩොලින් මනාව සකස් කරන ලද්දක් බව පෙනී යයි.

Buddha Quotes

Make an island of yourself,
make yourself your refuge;
there is no other refuge.
Make truth your island,
make truth your refuge;
there is no other refuge.
Digha Nikaya, 16