ලෝකය සුන්දර කරවන වැඩිහිටිභාවය..

        වැඩිහිටි වෙනවා කියන්නේ මොකක්ද ? සංවර වෙනවා කියන එකයි.

         සාමාන්‍ය ලෝකයේ වැඩිහිටි වෙනවිට සංවරකම අඩුවෙනවා. නමුත්...බුද්ධ ශාසනය තුළ වැඩිහිටි වෙන විට සංවරකම වැඩිවෙන්න ඕන. අපි ආශාකරන ස්වභාවය අඩුවෙන්න ඕන. අපේ යම් යම් කෙළෙස් අඩුවෙන්න ඕන.

         එහෙම නැතුව ඔබ වැඩිහිටි වුනා කියලා, විශේෂ සැලකුම් බලාපොරොත්තු වෙන්නම එපා... නිතර නිතර ඔබ, 'මම පුළුවන් තරම් සංවර වෙන්න ඕන' කියලා කල්පනා කරන්න.

        ඒ වගේම ලෝකයේ වැඩිහිටි වීම් 4ක් තියෙනවා.

01. යමකට පුරෝගාමී වීම හේතු කොටගෙන ඇතිවෙන වැඩිහිටි බව.
                 මේකට ඉතින් කිසිම වාද විවාද, තරග මොකුත් නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, " මම තමයි මේ අවිද්‍යාව නම් වූ කටුව සිදුරු කරගෙන මුලින්ම ලෝකය අවබෝධ කළ කෙනා" කියලා... මේ වැඩිහිටිකමට ගෞරව කරන්න, පුද සත්කාර කරන්න. ඒ වගේම, මේ කාලයේ ධර්මය ඉස්මතු කිරීම ගැන පුරෝගාමීත්වය දරන්නේ, අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේයි. මේ ගැන වාද විවාද නෑ. මේ වැඩිහිටිකමටත් ගෞරව කරන්න, පුද සත්කාර කරන්න.

02. උපන් වයසින් ඇතිවන වැඩිහිටි බව.
                 උපන් වයසින් වැඩිහිටි බවට පත්වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. ධර්මය තුළ ඒකට කියන්නේ ජරාවට පත්වීම කියලයි. වයසට යාම කියලයි. නමුත් මෙහෙම කියලා වයසක අයට නිගා කරන්න එපා.

03. සිල් සමාදන් වීම සමග ඇතිවෙන වැඩිහිටි බව.
                මුලින් මහණ වුනා කියන්නේ මුලින් සිල්වත වුනා කියන එකනේ. ඉතින් ... සීලයට කොහොමත්ම ගෞරව ලැබෙනවානේ.

04. සංවර බව වැඩිවීම.(මාර්ගය පුරැදු කිරීම) සමග ඇතිවෙන වැඩිහිටි බව.
                එහෙනම් අපි ගෞරවයෙන් රැකගත යුත්තේ, සංවර වීමයි. (ධර්මය පුරැදු කර ගැනීමයි), මෙන්න අප විසින් ඇති කරගත යුතු නියම වැඩිහිටිකම...

"පින්වත් මහණෙනි, ථේර (වැඩිහිටි) භාවය ඇති කරවන කරැණු හතරක් තියෙනවා.
ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේන් සිල්වත් වීම.
බහුශ්‍රැත භාවය.
ධ්‍යාන හතර පහසුවෙන් ලබන බව.
ආශ්‍රව ක්ෂය කිරීම (කර ඇති බව)
(දුතීය උරැවෙල සූත්‍රය-අ.නි. 02)

               එහෙනම්, අපි විසින් ඇතිකර ගතයුතු වැඩිහිටි කම මේකයි. මේ බ්‍රහ්මචාරී ජීවිතය දියුණු කර ගැනීමටයි. මේ තුළින් තමයි අර්ථවත් වැඩිහිටි බවක් ඇතිවෙන්නේ. මේ වැඩිහිටිභාවය ඇති කර ගැනීම පහසු කටයුත්තක් නම් නොවෙයි. නමුත් යම් කෙනෙක් මේ සදහා වෑයම් කරයි . එයා නම් සුන්දර වැඩිහිටියෙක්....!


- පුජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ -

Buddha Quotes

Make an island of yourself,
make yourself your refuge;
there is no other refuge.
Make truth your island,
make truth your refuge;
there is no other refuge.
Digha Nikaya, 16